සිරස තමන්ට ම ගහගත්තා ද ?

සිරසට ගහලත් සතියක් ගත වුණා. ඒකට සැක පිට UNP නාගරික මන්ත්‍රීවරුන් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ සිරසට කට උත්තර නැතුව ගියා වගේ. අනේ මන්දා. බ්ලොග් එකක කමෙන්ට් එකකට අර අවුදෝ මන්දා ලියලා තිබුණා සිරසට ගහන්න ඕනේ. හැබැයි ඒ සිරසේ දේශපාලනය නිසා නෙමේ. සිරස කරන සංස්කෘතිය විනාශය නිසා ය කියලා. ඒක නං සහතික ඇත්ත.

සමහරු කියනවා සිරස තමංම ගහගත්තලු. බලා ගෙන ගියහ ම ඒක ඔප්පු කරන්න පුළුවන් සාධක ගොඩක් තියෙනවා.

කියන හැටියට 20 දෙනෙක් විතර පහර දෙන්න ඇවිත් තියෙනවා. හැබෑට ආයුධත් එක්ක 20කට ඩෝල්ෆින් වෑන් එකක එන්න පුළුවන් ද ? පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශක් නිසා මුර කපොලු හැම තැනම. ආයුධත් එක්ක 20 කිටි කිටියේ හිර වෙලා වෑන් එකක එක කොට මුර කපොලුවල අය බලාගෙන ඉන්න ඇති. හික්.
දැං කාලේ පාරේ කඩවලත් ආරක්ෂක කැමරා තියෙද්දී ප්‍රධාන මැදිරි සංකීර්ණයේ ඒවා තිබුණෙ නැත්තෙ ඇයි ?
අනික ප්‍රහාරය දවසේ හොඳටම හානිවෙලා විකාශන කටයුතුවත් කරගන්න බැරුව හිටපු සිරස මෙන්න පහුවදා ඉඳන් වෙනදා වගේ ම වැඩ.
ඒ ගොල්ලෝ කියනවා මැරයෝ ඇවිත් ක්ලේමෝ එකකුත් ගහලා ගිහිල්ල ලු. ඒ කියන්නේ ක්ලේමෝ ගැන දන්නේ නැතුව. ඔවුන් කියන ක්ලේමෝ මයින් (8kg) කියන බෝම්බ වර්ගයෙන් එකක් ගැහුවෝත් මැදිරි සංකීර්ණයේ වහලෙවත් ඉතුරු වෙන එකක් නෑ.
තව කියනවා මැදිරි සංකීර්ණය නවීන ඩිජිටල් තාක්ෂණයට අනුව හැදුවේ මාස හයකට කලින්ලු. ලංකාවේ පළමු ව ඩිජිටල් තාක්ෂණයට ආපු රූපවාහිනී නාළිකාව සිරස. ඒ මීට අවුරුදු කීපයකට කලින්. මාස හයකට කලින් නෙමේ.
පෙර සතියේ සිකුරාදා පෙට්රල් බොම්බ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙද්දිත් ආරක්ෂාව‍ට ඉඳලා තියෙන්නේ දෙන්නයි. අඩුම ගානේ මැරයො ටික පැය බාගයක් තිස්සේ මැදිරි කුඩුකරනකං වත් ආරක්ෂක අංශවල අනිත් අය නෑ.

බ්ලොග් ලිවීමේ කම්මැලිකම

මැරතන් ඉවර වුණාට පස්සේ දැනුයි ඕං ඉස්සෙල්ල ම බ්ලොග් එකක් ලියන්නේ. මේ දවස් වල අපිට කැම්පස් එකේ විභාගේ නේ. හෙට තමා අවසාන ප්‍රශ්න පත්තරේ. අම්මෝ…ඉවර වුණාට පස්සේ පුදුම සහනයක් දැනෙයි.

හැමදා ම බ්ලොග් කියවනයට ඇවිත් බ්ලොග් කියෙව්වට මට බ්ලොග් ලිපියක් ලියන්න හරිම කම්මැලියි. ඒක ලොකු ප්‍රශ්නයක්. ලියන්න තියෙන දේ ගැන ප්‍රශ්නයක් නෑ. ඕනෙ තරං දේවල් තියෙනවා. ඒත් ලියන්න කම්මැලියි. මාර වැඩේ.

මං හිතන්නේ මෙකයි ඒකට හේතුව.මට ලියලා පුරුදු මෙහෙම නෙමේ. පෑනකුයි කොළේකුයි දීලා ලියන්න කිව්වොත් මං කොහෙත් ම ඉගෙනගෙන නැති දෙයක් ගැන වුණත් පිටු ගාණක් ලියන්න මට පුළුවන්. පෑන කොළේට තියෙන කොට වතුර ගලනවා වගේ ලියන්න පුළුවන්. හැබැයි කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා ලියන්න ගත්තොත් අදහස් බ්ලොක් වෙනවා. ඉක්මනට ලිපිය ඉවර කරන්නමයි හිතෙන්නේ. මං මේ වෙනකං ලියපු බ්ලොග් සටහන් වුණත් එච්චර දිග ඒවා නෙමෙයි. කොටින්ම කිව්වොත් මේ ලියන එකත් දැන් ඉවර කරන්නමයි හිතෙන්නේ.