අවුරුද්දක බ්ලොග් ලිවිල්ල

 

ඔන්න ඉතිං මගේ සිංහල බ්ලොග් ලිවිල්ලට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුද්දටම මම ලියලා තියෙන්නේ ලිපි 25ක් විතරයි. එකනං ඉතිං සෑහිමකට පත්වෙන්න පුළුවන් පුමාණයක් නෙමෙයි. 
සිංහල බ්ලොගර්කරුවන්ගේ සංසදයටත් මගේ බ්ලොග්එක කියවන හැමෝටමත් බොහෝම ස්තුතියි. අවුරුද්දක් පුරාවට මාත් එක්ක හිටියට. ඉතිං, ඉදිරියටත් තව අවුරුදු ගාණක් බ්ලොග්එක ලියන්න ලැබේවා කියලා සහ සිංහල බ්ලොග්කරණය තවත් වර්ධනය වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා

මාස හයකට පස්සේ…….

මේ බ්ලොග් ලිපියක් ලියන්නේ මාස 6කට පස්සේ. ලිව්වේ නැති වුණාට මොකද පුළුවන් හැම වෙලාවෙ ම බ්ලොග් කියෙව්වා. මෙච්චර කාලයක් බ්ලොග් නොලියන්න පළවෙනි හේතුව කම්මැලිකම. බලන්නකෝ මේ ලිපිය. අනිත් හේතුව විවේකයක් නැතිකම. කොච්චර අවිවේකද කිව්වොත් පසුගිය මාස එකහමාරට ම අන්තර්ජාලය පැත්ත පලාතේ එන්න බැරි වුණා. මේ ලිපිය ලියන්නත් විවේකයක් ලැබුණේ යාන්තං විශ්වවිද්‍යාලය වසා දමපු නිසා. (දන්නවනේ ඉතිං හේතුව)

තව මාසයකින් පළමු වසර අවසාන විභාග පැවැත්වෙනවා. ඉතිං විශේෂවේදී පාඨමාලාවකට තේරීම සඳහා විෂයන් තුනට ම ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මම කරන විෂයන්වලින් දෙකක් ම ප්‍රායෝගික විෂයන්. නාට්‍ය හා රංග කලාවයි ප්‍රතිබිම්බ කලාවයි. ඒවට ලියන්න විභාගයක් නෑ. තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ විතරයි. ප්‍රායෝගික පරීක්ෂණ ලියන්න තියන විභාගවලට කලින් තමයි තියෙන්නේ. ඉතිං අධ්‍යයන නිවාඩු දෙන්නත් කලින් මට විෂයන් දෙකක ම විභාග සම්පූර්ණයෙන් ම ඉවර වෙනවා. පාඩම් කරලා ලියන්න තියෙන්නේ සිංහල විතරයි. ඒකෙත් එසයිමන්ට් ඔක්කො ම දැනටමත් ලියලා බාර දීලත් ඉවර යි. මේ පැවරුම්වලට දීල තිබුණු ඒවගෙන් මං තොර ගත්තේ “උම්මග්ග ජාතකය හා නූතන නවකතා ” කියන එකයි “සිංහල භාෂා සමාජය” කියන එකයි. උම්මග්ග ජාතකය ගැන එක නම් එච්චර ගින්නක් නෑ. ලේසියෙන්ම පිටු 30ක්විතර ලියා ගත්තා. හැබැයි සිංහල භාෂා සමාජය ගැන එකට නං ගොඩක් විස්තර හොයලා මහන්සි වෙන්න සිද්ධ වුණා. ලියලා ගිය සැරේ වගේ ම බාරගන්නා අවසාන දිනයේත් හොඳට ම හැන්දෑවෙලා ගිහින් බාර දුන්නා. :-)

පසුගිය අප්‍රේල් 24 සිට ජූනි 10 දක්වා කාලය තමයි මගේ ජීවිතේ අවිවේකී ම කාලය. ඒකට හේතුව මම සිව්වන වසර අවසන් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වීම. කැම්පස් එකේ ඉඳං පැය බාගෙකින් ගෙදර එන්න පුළුවන් උනත් සමහර විට දවස ගාණකින් ගෙදර එන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ගෙදර ආවත් ඒ රෑ 11-12 විතර තමයි. පහුවෙනිදා උදේ 6ට ආපහු කැම්පස් එකේ. මැයි 18 නාට්‍ය වේදිකාගත කළාම මං හිතුවා විවේකයක් ලැබෙයි කියලා. ඊට පස්සේ පටන් ගත්තා කැම්පස් එකේ ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනය. ඒකට සතියක් නිදිමරාගෙන වැඩ කළා. ඊට පස්සේ Image Arts ප්‍රායෝගික පරීක්ෂණ. සිංහල එසයිමන්ට්. යාළුවන්ගේ නාට්‍යවල මියුසික් වැඩ. ජ්‍යොතිෂ වැඩ. කෙළවරක් නෑ. යාන්තං කැම්පස් වැහුවයින් පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩක් ලැබුණා.

මැයි 28,29,30 විශ්වවිද්‍යාලයට අවුරුදු 50 පිරීම නිමිත්තෙන් ලොකු ප්‍රදර්ශනයක් පැවැත්වුණා. ඒකට අපේ අධ්‍යයනාංශයේ නාට්‍ය හා රංග කලා ඒකකයෙන් කැලණි නාට්‍ය වංශය නමින් විශාල ප්‍රදර්ශන කුටියක් සකස් කළා. ඒකෙදි කැලණිය විශ්වවිද්‍යාලීය නාට්‍ය කලාවේ ගමන් මඟ වගේ ම පසුගිය අවුරුදු 10 ඇතුළත අධ්‍යයනාංශය නිෂ්පාදනය කළ දැවැන්ත නාට්‍ය නිර්මාණවල පසුතල නිර්මාණ හා රංග භාණ්ඩ ප්‍රදර්ශනය කළා. සෑම දිනයක ම හවස කෙටි නාට්‍ය දර්ශනයකුත් පැවැත්වූවා. මටත් ඔය නාට්‍ය පසුතලයක ඩමියකට ඉන්න සිද්ධ වුණා. ඩමියකට ඉන්නවා කියන්නේ නාට්‍යයේ චරිතයක් විදියට ඇඳගෙන මේකප් කරගෙන පසුතලයේ ඉන්න ඕනේ. ප්‍රදර්ශනය බලන්න එන අයට නාට්‍ය ගැන විස්තර කරන්නත් ඕනේ. ඒකත් මරු වැඩේ. මේ තියෙන්නේ ඒ වගේ පසුතල කීපයක්.

අධ්‍යයනාංශයේ ප්‍රතිබිම්බ කලා ඒකකයෙන් චිත්‍රපටි කලාවේ ගමන් මඟ පිළිබඳ ව ප්‍රදර්ශන කුටියක් හා රූපවාහිනී හා ඡායාරූප කලාව පිළිබඳ කුටියක් ඉදිරිපත් කළා. ඡායාරූප ප්‍රදර්ශනයකුත් පැවැත්වුණා. සම්පූර්ණ ප්‍රදර්ශනයම බලන්න අඩුම ගාණේ පැය 5ක්වත් යනවා. කොහොම හරි අපේ ප්‍රදර්ශන කුටි තුන හැර වෙන එක ප්‍රදර්ශන කුටියක්වත් බලන්න තරම් වෙලාවක් මට ලැබුණේ නෑ. කොටින්ම මට ප්‍රදර්ශනේ බලන්න හම්බ වුණේ ම නෑ. නාට්‍ය කලා ඒකකයේ කුටියට එහා පැත්තේ විද්‍යා පිඨයේ අය පරිගණක තාක්ෂණය සම්බන්ධ ව මොකක් හරි ඉරිපත් කරලා තිබුණා. අඩුම ගානේ ඒ පැත්තට ඔලුව දාන්නවත් හම්බ වුණේ නෑ.

කොච්චර අවිවේකී වුණත් මට මේ මොකවත් එපා වුණේ නම් නෑ. ඇත්තටම ඒක නං වාසනාවක්. නැත්තම් මට කැම්පස් එකත් එපා වෙනවා. මම කරන හැම විෂයක් ම බොහොම ආස හිතෙන ඒවා. සිංහල තමයි පොඩ්ඩක් හරි බෝරිං වුණොත්. කට්ටිය සෙට් වුණා ම ඒකත් එච්චර අවුලක් නෑ. නාට්‍ය කලාව ගැන ඉතිං කියන්න ඕනේ නෑ. ඇත්තටම මාර ආතල් විෂයක්. Image Arts වුණත් ඉතිං එහෙම තමයි.