Photography Assignment කෙරුවාව

Image Arts යටතේ අපට ප්‍රථම වසරේ වැඩිපුරම තියෙන්නේ ඡායාරූප ශිල්පය තමයි. පළමු සමාසිකයේ සිද්ධාන්ත ඉගෙනගන්න ඕනේ.  දෙවන සමාසිකයේ  Practical විතරයි. ඉතිං දෙවන සමාසිකයේ විභාගෙට තියෙන්නේත් ප්‍රායෝගික පරීක්ෂණ විතරයි. ලියන්න කිසිම දෙයක් නෑ. මේ යටතේ අපට කරන්න Practical Assignments කීපයක් තියනවා.

1. අධ්‍යයනාංශයෙන් අපට දෙන Analog SLR කැමරාවට අධයයනාංශය දෙන කළු-සුදු පටලය දාලා විශ්වවිද්‍යාලයෙ ඇතු‍ලේ ඡායාරූප 15ක් ගැනීම. මේක ආවට ගියාට කරන්න බෑ. කාලය ලැබෙන්නේ පැය දෙකයි. ඡායාරූප ගැනීම සඳහා තේමාවන් 4ක් අපට දෙනවා.  තව එක තේමාවක් අපිට හිතා ගන්න පුළුවන්. සියලුම ඡායාරූප මේ තේමා 5ට අදාළව අනාවරණය කරන්න ඕනේ. අනාවරණය නිවැරදි වෙන්න ඕනේ (අපට දෙන්නේ සම්පූර්ණයෙන්ම Manual කැමරා). ඔක්කොටම වඩා ගන්න එවා හොඳ කලාත්මක ඡායාරූප වෙන්න ඕනේ.

2. ඒ ගත්තු ඡායාරූප 15න් තේමාවන් 5ට අදාළ කැමති ඡායාරූප 5ක් මුද්‍රණය කරන්න ඕනේ. පෙර අපි අනාවරණය කළ filmඑක Process කරලා අපට දෙනවා. කළු-සුදු එන්ලාජරයක්, කළු-සුදු ඡායාරූප මුද්‍රණ කඩදාසි, අවශ්‍යතරම් Developer/Fixer දෙනවා (ඡායාරූප මුද්‍රණයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය).  තව Dark Room එකකුයි පැය භාගයකුයි දෙනවා. ඒ පැය භාගය ඇතුළත පටලයෙන් රූප රාමු 5ක් තොරාගෙන, එන්ලාජරයෙන් ඒවා මුද්‍රණ කඩදාසි මත අනාවරණය කර, නිවැරදිව රසායනික ක්‍රියාවලිය සිදු කර අවසානයේ  3R (3”x5”) ප්‍රමාණයේ ඡායාරූප 5ක් බාරදෙන්න ඕනේ.  මේ තියන එන්ලාජර්ස් වල ඡායාරූප ගත්තේ හොරෙන්. Dark room එක ඇතුළට ෆෝන් හෝ අලෝකය විහිදුවන කිසිම දෙයක් රැගෙන යාම සපුරා තහනම් !

aravindablog.wordpress.com aravindablog.wordpress.com
3.  අප විසින් මේ වසර තුළ ගනු ලැබූ හොඳම ඡායාරූප අවම 10ක එකතුවක් ඉදිරිපත් කරන්න ඕනේ. අධ්‍යයනාංශය මගින් අපව එක්කගෙන ගිය චාරිකාවලදී ගත් ඡායාරූප 5ක්වත් මීට ඇතුළත් වෙන් ඕනේ.  Cover

4. ඡායාරූප ශිල්පයේ ප්‍රායෝගික භාවිතාවන් අළලා කැමති මාතෘකාවක් තොරාගෙන නිබන්ධනයක් ඉදිරිපත් කළ යුතුයි. සමහරු ඡායාරූප කලාව හා වෙළඳ දැන්වීම්, ඡායාරූපය හා පුවත්පත්, වගේ මාතෘකා තොරා ගෙන තිබුණා. මම කළේ චිත්‍රපට DVD කවර සඳහා ඡායාරූප භාවිතය ගැන. මේ තියෙන්නේ මම ඒ නිබන්ධනයට හදපු පිට කවරය.

5. අන්තර්ජාලයෙන් හෝ පත්තරවලින් හෝ කොහෙන් හරි හොයාගත් ඡායාරූප 10ක් අරගෙන ඒ එක් එක් ඡායාරූපයේ ගුණ අගුණ ගැන ඡායාරූප ශිල්පීය  විචාරයක් සහිත නිබන්ධනයක් ඉදිරිපත් කරන්න ඕනේ.

6. මේ ඔක්කොමත් කරලා තව සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දෙන්න ඕනේ. එතනදී ඡායාරූප ශිල්පය පටං ගත්ත දා ඉඳං තියන ඔක්කොම කැමරාවර්ග,  ආම්පන්න තියන මේසයක් උඩ තියන මොකක් හරි පෙන්නලා අහනවා මේ මොකද්ද, මොකක්ද මේකෙන් කරන්නනේ කියලා. තමන් ගත්තු ඡායාරූප පෙන්නලා අහනවා ඇයි මේ ඡායාරූපය මේ විදියට ගත්තේ, මොකක්ද ඔයා ඒකෙන් අදහස් කළේ කියලා. තව පිස්සු හැදෙන දෙකොන පටලවපු ප්‍රශ්න හැට හුටහමාරක් අහනවා. මේසේ උඩ තිබුණු දුඹුරු පාට දියරයක් තිබුණු බොතරලයක් පෙන්නලා එකෙක්ගෙන් අහලා තිබුණා මේ මොකද්ද කියලා. ඌ දහ අතේ කල්පනා කරලා අන්තිමට කිව්වලු Lens Cleaner කියලා. බැලින්නම් ඒතන ඉන්න සර් කෙනෙක් බොන්න ගෙනාපු කොත්තමල්ලි බොතලයක් :-)
. විනිවිද පෙනෙන ඇට දාපු බොතලයක් පෙන්නලා අහනවා මේ මොනවද කියලා. ඡායාරූප ශිල්පයේ තියන එකම විනිවිද පෙනෙන ඇට ජාතිය සිලිකා ජෙල්. හැබැයි එහෙම කිව්වොත් ඉවරයි. ඒ තියෙන්නේ සීනි බෝතලයක් :-D

කට්ටියට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මෙච්චර අමාරුවේ දාන ප්‍රශ්න අහන්නේ කියලා. මේ පරික්ෂණවලින් තමයි Image Arts විශේෂවේදී උපාධිය හැදැරීමට කට්ටිය තොරගත්නේ. 150ක් ඉන්න ශිෂ්‍ය පිරිසෙන් විශේෂවේදී උපාධියට තොරගන්නේ 10යි. ක්ෂේත්‍රය ගැන උනක් තියන, කට්ටියත් එක්ක සහයොගයෙන් වැඩ කරන්න පුළුවන් අය විතරයි තෝර ගන්නේ. කට පාඩම් කරලා තියරිය ගොඩ ගියාට මදි.

ප්‍රතිචාර 4

  1. 2009 අගෝස්තු 13 at පෙ.ව. 11:33

    අපොයි ඔයාලාට දෙන්නේ එහෙව් එව්වාද? බැලුවාම මම යන්න ඉන්න කලා විදුහල හොඳා!

  2. udara said,

    2009 අගෝස්තු 13 at ප.ව. 6:45

    අඩේ බින්කුවෝ… මේ ලංකාව කියලා අමතක කරන්න එපා කොල්ලෝ… මෙහෙම හරි තියෙන එකම මදෑ…

  3. දසුන්ප්‍රිය අනුරාධ said,

    2009 අගෝස්තු 14 at පෙ.ව. 11:43

    අරවින්ද,

    ඔබ හදාරන්නට සූදානම් වන හෝ හදාරන හෝ හදාරා නිම වී ඇති විශේෂවේදී පාඨමාලාව ට මගේ සුබපැතුම්. අප රටේ කලාත්මක ඡායාරූප කරනයේ විශාල ප්‍රගතියක් ඇති බව මෙම සටහන හරහා මට දැනෙනවා. හැකි හැම විටම මෙම විශයන්හී නිතර කතා නොවන නමුත් ඉතා අවැසි වන කරනු හුවා දක්වමින් සටහන් තබන මෙන් මම ඉල්ලමි. ඔබට මගේ සුබ පැතුම්.

  4. 2009 අගෝස්තු 14 at ප.ව. 8:47

    මේක නම් එල. මමත් ඡායාරූප කලාවට හුඟක් කැමතියි, ඒ කැමැත්ත ආවෙත් June term එකේදි ඡායාරූපකරණය ඉගෙන ගත්තු නිසා. ඒත් ඉගෙන ගත්තෙ මූලික සංකල්ප විතරයි. පාවිච්චි කලෙත් Digital SLR.


Post a Comment