මාස හයකට පස්සේ…….

මේ බ්ලොග් ලිපියක් ලියන්නේ මාස 6කට පස්සේ. ලිව්වේ නැති වුණාට මොකද පුළුවන් හැම වෙලාවෙ ම බ්ලොග් කියෙව්වා. මෙච්චර කාලයක් බ්ලොග් නොලියන්න පළවෙනි හේතුව කම්මැලිකම. බලන්නකෝ මේ ලිපිය. අනිත් හේතුව විවේකයක් නැතිකම. කොච්චර අවිවේකද කිව්වොත් පසුගිය මාස එකහමාරට ම අන්තර්ජාලය පැත්ත පලාතේ එන්න බැරි වුණා. මේ ලිපිය ලියන්නත් විවේකයක් ලැබුණේ යාන්තං විශ්වවිද්‍යාලය වසා දමපු නිසා. (දන්නවනේ ඉතිං හේතුව)

තව මාසයකින් පළමු වසර අවසාන විභාග පැවැත්වෙනවා. ඉතිං විශේෂවේදී පාඨමාලාවකට තේරීම සඳහා විෂයන් තුනට ම ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මම කරන විෂයන්වලින් දෙකක් ම ප්‍රායෝගික විෂයන්. නාට්‍ය හා රංග කලාවයි ප්‍රතිබිම්බ කලාවයි. ඒවට ලියන්න විභාගයක් නෑ. තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ විතරයි. ප්‍රායෝගික පරීක්ෂණ ලියන්න තියන විභාගවලට කලින් තමයි තියෙන්නේ. ඉතිං අධ්‍යයන නිවාඩු දෙන්නත් කලින් මට විෂයන් දෙකක ම විභාග සම්පූර්ණයෙන් ම ඉවර වෙනවා. පාඩම් කරලා ලියන්න තියෙන්නේ සිංහල විතරයි. ඒකෙත් එසයිමන්ට් ඔක්කො ම දැනටමත් ලියලා බාර දීලත් ඉවර යි. මේ පැවරුම්වලට දීල තිබුණු ඒවගෙන් මං තොර ගත්තේ “උම්මග්ග ජාතකය හා නූතන නවකතා ” කියන එකයි “සිංහල භාෂා සමාජය” කියන එකයි. උම්මග්ග ජාතකය ගැන එක නම් එච්චර ගින්නක් නෑ. ලේසියෙන්ම පිටු 30ක්විතර ලියා ගත්තා. හැබැයි සිංහල භාෂා සමාජය ගැන එකට නං ගොඩක් විස්තර හොයලා මහන්සි වෙන්න සිද්ධ වුණා. ලියලා ගිය සැරේ වගේ ම බාරගන්නා අවසාන දිනයේත් හොඳට ම හැන්දෑවෙලා ගිහින් බාර දුන්නා. :-)

පසුගිය අප්‍රේල් 24 සිට ජූනි 10 දක්වා කාලය තමයි මගේ ජීවිතේ අවිවේකී ම කාලය. ඒකට හේතුව මම සිව්වන වසර අවසන් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වීම. කැම්පස් එකේ ඉඳං පැය බාගෙකින් ගෙදර එන්න පුළුවන් උනත් සමහර විට දවස ගාණකින් ගෙදර එන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ගෙදර ආවත් ඒ රෑ 11-12 විතර තමයි. පහුවෙනිදා උදේ 6ට ආපහු කැම්පස් එකේ. මැයි 18 නාට්‍ය වේදිකාගත කළාම මං හිතුවා විවේකයක් ලැබෙයි කියලා. ඊට පස්සේ පටන් ගත්තා කැම්පස් එකේ ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනය. ඒකට සතියක් නිදිමරාගෙන වැඩ කළා. ඊට පස්සේ Image Arts ප්‍රායෝගික පරීක්ෂණ. සිංහල එසයිමන්ට්. යාළුවන්ගේ නාට්‍යවල මියුසික් වැඩ. ජ්‍යොතිෂ වැඩ. කෙළවරක් නෑ. යාන්තං කැම්පස් වැහුවයින් පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩක් ලැබුණා.

මැයි 28,29,30 විශ්වවිද්‍යාලයට අවුරුදු 50 පිරීම නිමිත්තෙන් ලොකු ප්‍රදර්ශනයක් පැවැත්වුණා. ඒකට අපේ අධ්‍යයනාංශයේ නාට්‍ය හා රංග කලා ඒකකයෙන් කැලණි නාට්‍ය වංශය නමින් විශාල ප්‍රදර්ශන කුටියක් සකස් කළා. ඒකෙදි කැලණිය විශ්වවිද්‍යාලීය නාට්‍ය කලාවේ ගමන් මඟ වගේ ම පසුගිය අවුරුදු 10 ඇතුළත අධ්‍යයනාංශය නිෂ්පාදනය කළ දැවැන්ත නාට්‍ය නිර්මාණවල පසුතල නිර්මාණ හා රංග භාණ්ඩ ප්‍රදර්ශනය කළා. සෑම දිනයක ම හවස කෙටි නාට්‍ය දර්ශනයකුත් පැවැත්වූවා. මටත් ඔය නාට්‍ය පසුතලයක ඩමියකට ඉන්න සිද්ධ වුණා. ඩමියකට ඉන්නවා කියන්නේ නාට්‍යයේ චරිතයක් විදියට ඇඳගෙන මේකප් කරගෙන පසුතලයේ ඉන්න ඕනේ. ප්‍රදර්ශනය බලන්න එන අයට නාට්‍ය ගැන විස්තර කරන්නත් ඕනේ. ඒකත් මරු වැඩේ. මේ තියෙන්නේ ඒ වගේ පසුතල කීපයක්.

අධ්‍යයනාංශයේ ප්‍රතිබිම්බ කලා ඒකකයෙන් චිත්‍රපටි කලාවේ ගමන් මඟ පිළිබඳ ව ප්‍රදර්ශන කුටියක් හා රූපවාහිනී හා ඡායාරූප කලාව පිළිබඳ කුටියක් ඉදිරිපත් කළා. ඡායාරූප ප්‍රදර්ශනයකුත් පැවැත්වුණා. සම්පූර්ණ ප්‍රදර්ශනයම බලන්න අඩුම ගාණේ පැය 5ක්වත් යනවා. කොහොම හරි අපේ ප්‍රදර්ශන කුටි තුන හැර වෙන එක ප්‍රදර්ශන කුටියක්වත් බලන්න තරම් වෙලාවක් මට ලැබුණේ නෑ. කොටින්ම මට ප්‍රදර්ශනේ බලන්න හම්බ වුණේ ම නෑ. නාට්‍ය කලා ඒකකයේ කුටියට එහා පැත්තේ විද්‍යා පිඨයේ අය පරිගණක තාක්ෂණය සම්බන්ධ ව මොකක් හරි ඉරිපත් කරලා තිබුණා. අඩුම ගානේ ඒ පැත්තට ඔලුව දාන්නවත් හම්බ වුණේ නෑ.

කොච්චර අවිවේකී වුණත් මට මේ මොකවත් එපා වුණේ නම් නෑ. ඇත්තටම ඒක නං වාසනාවක්. නැත්තම් මට කැම්පස් එකත් එපා වෙනවා. මම කරන හැම විෂයක් ම බොහොම ආස හිතෙන ඒවා. සිංහල තමයි පොඩ්ඩක් හරි බෝරිං වුණොත්. කට්ටිය සෙට් වුණා ම ඒකත් එච්චර අවුලක් නෑ. නාට්‍ය කලාව ගැන ඉතිං කියන්න ඕනේ නෑ. ඇත්තටම මාර ආතල් විෂයක්. Image Arts වුණත් ඉතිං එහෙම තමයි.

ක්ලැරන්ස්

ක්ලැරන්ස් වි‍ජේවර්ධන. අනිවාර්යයෙන් ම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉවත් නොවන නමක්. මේ වෙලාවේ ඔහු ගැන කියන්නේ ඔහු අප අතරින් සමුගෙන පසුගිය 13 දාට 12 වසරක් සපිරෙන නිසා ය. ඇයි අපිට ක්ලැරන්ස් වැදගත් . ඔහුගේ සිංදු ලස්සන නිසා පමණද ?

1943 අගෝස්තු 3 දින උපන් ක්ලැරන්ස් අවුරුදු 23 දී සිය වෘත්තීය සංගීත දිවිය අරඹමින් ලාංකීය සංගීතයේ වෙනසකට මුල පිරුවේ ය. ඔහු ලංකාවට ඉලෙක්ට්‍රික් ගිටාරය ගෙන ආවේ ය. ඒ ගැන චෝදනා ආවිට ඔහු එයට පිළිතුරු දුන්නේ ඉලෙක්ට්‍රක් ගිටාරයෙන් බෙර පද වාදනය කර පෙන්වීමෙනි. (‘සුරඟන වෙස්වලා’ වැනි ගීත). ලංකාවේ පළමු වරට ඩ්‍රම් ෆුට් බ්‍රේක්, සංගීතයට යෙදා ගත්තේ ක්ලැරන්ස් ය. ඒ ගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයට යි. අද ෆුට් බ්‍රේක් එකෙන් කන් අඩි පලන සංගීත මරුවන් මේවා අහලාවත් නැතුව ඇති. ලංකාවේ පළමු කැසට් පටයේ සංගීත අධ්‍යක්ෂවරයා ක්ලැරන්ස් ය (මිල්ටන් මල්ලවාරචිච්ගේ Any Time Anywhere) . ප්‍රථම වතාවට Multi Track Recording ක්‍රමය අරඹමින් සිංග්ලංකා සමාගම පිහිටවූයේ ක්ලැරන්ස් ය.

මීට වසර කීපයකට පෙර ලංකාවේ ක්ලැසිකල් ගිටාර් වාදනය උගන්වන සංගීතඥයින් තම සිසුන්ට පළමු ව කීවේ Hotel California අහලා එන්න යනුවෙනි. අද සමහරු කියන්නේ ක්ලැරන්ස් සිංදුවක් අහලා එන්න කියා ය. ඒ තරමට ක්ලැරන්ස්ගේ ගිටාර් වාදනය සුවිශේෂී ය. සාමාන්‍ය ගිටාර් වාදකයන් නොකරන පරිදි දකුණතේ මාපටැඟිල්ල ඉහලට චලනයෙන් කරන වාදනය ඔහුගේ වේගවත් මියුරු ගිටාර් වාදනයට හේතුවකි.

ක්ලැරන්ස් ගැන බොහෝ දෙවල් කියන්න තිබුණත් ලියන්න විවේකය අඩු නිසා මෙතනින් නවතින්න වෙනවා. ක්ලැරන්ස් ගැන හොයන්න කැමති නම් ඔහු ඇමරිකාවේ දී කළ Clarence Live In Hollywood ප්‍රසංගය බලන්න. DVD හොයා ගන්න පුළුවන් වේවි.

ගීත එකතුව

මේ දවස්වල බරපතල වැඩකට අතගහල යි ඉන්නේ. මා ලඟ තියෙන සිංදු කන්දරාව පිළිවෙළකට සකස්කරන්න හිතුනා. අවුරුදු ගානක් තිස්සේ එකතු කරපු මේවා දැනට ගායකයාගෙ නමින් සහ ඇල්බම් එකේ නමින් ෆොල්ඩර් බෙදලා විතරයි තියෙන්නේ. ලොකු ම ගැටලුව වෙලා තියෙන්නේ සිංදුවේ නමින් නැතුව වෙනත් නම්වලින් (Track01,Track02 වගේ නම්වලින්) තියෙන ගීත නම් කිරීමයි. සිංදු දාස් ගාණක් එකින් එක අහ අහා නම් කරන එක ලේසි වැඩක් නෙමේ. හැම ගීතයක ම File Name, Title, Album, Artist, Album Art, කියන කොටස් නිවැරදි ව සකස් කරනවා. ගීතවල ගී පද රචකයාගේ නමත් හොයාගන්න පුළුවන් වුණොත් එකත් ඇතුළු කරනවා. සිංහල ගීතවලට ලංකා ගී පොත උදව් කරගන්න පුළුවන් වේවි.

මේවා දැන් වටින්නේ නැති වුණාට තව අවුරුදු කීපයකින් රත්තරං තරම් වටිනවා (ඒවාගේ අගය දන්නා අයට).
ඉස්සර නම් ලැබෙන හැම සිංදුවක් ම හාඩ් එකේ පුරවා ගත්තත් දැන්නම් ඔය අලුත් ගායකයන්ගේ Rap, Rock, Remix, Dj ආදී නම්වලින් හඳුන්වන විකාරයන්ට නිස්කාරනේ ඉඩ නාස්ති කරගන්නේ නෑ. මේ වෙනකං ඉතුරු වෙලා තිබුණු ඒ ජාතියේ ගීත ගිගාබයිට් ගණනාවක් ඊයේ මකා දැම්මා. ඒවා තිබුණට ඇ‍ඟේ හැප්පෙන්නේ නැති වුණත් ගෙදරට එන සමහර යාලුවෝ ෆෝන්වලට, පෙන්වලට, සීඩීවලට, දාගෙන යන්න ඉල්ලන කොට බෑ කියන්න බැනේ. අනාගත පරම්පරාවේ මොළ කුරුවල් කිරීමේ පාප කරුමයන්ට මට හවුල් වෙන්න බැරි නිසා යි ඒවා මකලා දැම්මේ.

හැම වෙලාවෙම මේ සියලු ම ගීතවල බැකප් එකක් තියාගෙනයි ඉන්නේ වියදම් බලන්නේ නැතුව ඒකට වෙන ම බැකප් හාඩ් එකක් ගත්තේ මීට පෙර වතාවක් හාඩ් එකකට හානි වෙලා වටිනා පැරණි ගීත විශාල ප්‍රමාණයක් මට අහිමි වූ නිසායි.

The Pianist – Music was his passion. Survival was his masterpiece

ගිය සතියේ මම, A/L නාට්‍ය හා රංගකලාව ඉගෙන ගත්තු ජයලාල් රෝහණ සර්ගෙ ගෙදර ගිහින් The Pianist චිත්‍රපටිය අරගෙන ආවා. අතිවිශිෂ්ට චිත්‍රපටියක්. ඒ ගැන කියන්න වචන නෑ. ඒක නොබලපු ඇස්දෙකෙන් වැඩක් නෑ. ස්පිල්මාන් (Szpilman)ලෙස රඟපාන රංගන ශිල්පියා ගෙ රඟපෑම විශ්මය ජනකයි. 2002 වසරේ හොඳ ම නළුවා, හොඳ ම අධ්‍යක්ෂණය, හොඳ ම තිර පිටපත සඳහා ඔස්කාර් සම්මාන දිනුවේ මේ චිත්‍රපටය යි. නළුවෙක් කියන්නේ කවුද කියන එක දැන ගන්න ලංකාවෙ සමහර නළු බට්ටන්ට මේ චිත්‍රපටි අතින් වියදම් කරලා පෙන්නන්න වටිනවා. මෙහි බොහොම වටිනා සංගීත ඛණ්ඩ දෙකක් තියෙනවා. එකක් ස්පිල්මාන් සැඟවී සිටිය දී ජර්මන් හමුදා නිලධාරියා හමු වූ විට ස්පිල්මාන් කරන පියානෝ වාදනය . ඔහුගේ මුළු ජීවිතය ම ඒක ඇතුළේ තියෙනවා. අනිත් එක විත්‍රපටියේ අවසානයට තියෙන දීර්ඝ සිම්පනිය. පුළුවන්නම් හොයාගෙන බලන්න. DVD එක ම හොයා ගන්න පුළුවන් වම් හොඳ යි.

http://www.imdb.com/title/tt0253474/
http://www.imdb.com/title/tt0253474/awards
http://en.wikipedia.org/wiki/The_Pianist_%282002_film%29
http://www.thepianistmovie.com/

නදීක ගුරුගේ සමඟ සංවාදයක්

හෙට (2008-11-10-සඳුදා) කැලණිය විශ්වවිද්‍යාලයේ Academic Players මඟින් නව පරපුරේ සංගීත ශිල්පියෙකු වන නදීක ගුරුගේ සමඟ සංවාදයක් පවත්වනවා. අබා, සංකාරා වැනි චිත්‍රපට හරහා සිංහල සිනමාවට නව ‍සංගීත ශෛලියක් හඳුන්වා දුන් සංගීතවේදියෙකු ලෙස නදීක ගුරුගේ හඳුන්වන්න පුළුවන්. ඔහුගේ නිර්මාණ ගැන ඔහුගේ සංගීත භාවිතාවන් ගැන ඔහුත් සමඟ සහෘද සංවාදයක යෙදෙන්න 10වෙනිදා දවල් 2 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාව පිටුපස “වලට” එන්න

ආපහු හැරෙන්න බෑ

පසුගිය මාසයේ 30-31 දිනයන්හි දී අපේ විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමය වන Academic Players මඟින් රාජිත දිසානායකගේ “ආපහු හැරෙන්න බෑ” නාට්‍ය සහ තුෂාර පීරිස්ගේ “ප්‍රභාකරන්” විත්‍රපටය පෙන්වූවා. 30 දා පෙන්වූ “ආපහු හැරෙන්න බෑ” නාට්‍යයේ දී විශ්වාස කරන්න බැරි දෙයක් වුණා. වැරදිලාවත් නාට්‍යයක් නොබලන අය ඉන්න අපේ රටේ ඒ නාට්‍යය බලන්න දෙදහකට ආසන්න පිරිසක් පැමිණියා. කැලණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාව (ලෙනින් ශාලාව) පිරෙන්න සෙනඟ. අන්තිමට ආපු සමහරුන්ට බලන්න වුණේ වේදිකාව ඉදිරිපිට බිම ඉඳගෙන. තවත් සමහරු හිටගෙන, සමහරු දොරවල් ජනෙල්වල එල්ලිලා. දෙපස කොරිඩෝවලත් ප්‍රේක්ෂකයෝ. අපට සෙනඟ පාලනය කරගන්න බැරුව ගියා. කොහොම වුණත් නාට්‍යයේ නළු නිළියන් මේ පිරිසට සාධාරණයක් කළ බව කියන්න ඕනේ. සෞම්‍ය ලියනගේ, ඩබ්ලිව්. ජයසිරි, ජයනි සේනාරත්න, බිමල් ජයකොඩි, ආදී ලාංකික රංග ‍ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් නාට්‍යයේ රඟපෑවා. විශේෂයෙන් කියන්න ඕනේ සෞම්‍ය ලියනගේගේ රංගනය ගැන. සැබැවින් ම එය විශ්මිත රඟපෑමක්. රංග කලාව හදාරන්නෙකුට ඔහුගේ රංගනය සජීවී විශ්වවිද්‍යාලයක්.
ප්‍රභාකරන් චිත්‍රපටය ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපට අඩු මුදලකට චිත්‍රපටය ලැබුණු නිසා පෙන්වූවාට අන්තිමට අපට ම හිතුණා මේක චිත්‍රපටයක් ද කියලා. ‍ඒකටත් විශාල ප්‍රෙක්ෂක පිරිසක් නම් පැමිණියා

.